සෙම්ප්‍රතිශ්‍යාව, නියුමෝනියාව දක්වා යන හැටි

101 Views
Generic placeholder image


උණ සෙම්ප්‍රතිශ්‍යාව නොසෑදුණ කෙනෙකු නැත. මේ වන විට කී වතාවක් නම් අපි උණෙන් සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩා විඳ ඇත්ද? බොහෝ විට එය වැඩි කරදරයක් නොකර ඉබේම සුව වී ගියද තවත් විටෙක එසේ නොවේ. අප බලා‍පොරොත්තු වන ඉක්මනට සුවය ගෙන නොදී බොහෝ පීඩා පමුණුවමින් දිගින්දිගටම ප්‍රතිකාර ගන්නට සිදුවන තැනට පවා මේ සුළු සෙම්ප්‍රතිශ්‍යාව පත්වන අවස්ථා තිබේ. සෙම්ප්‍රතිශ්‍යාවක් එතරම් බරපතළ තත්ත්වයට පත් වන්නේ කෙසේදැයි අද අපි විමසා බලමු.
සෙම හටගත් විටදී ඉන් පීඩාවට පත්වන්නේ පපුවයි. හුස්ම ගැනීම සහ පිට කිරීම යනු අප අවට ඇති වාතය නාස් පුඩු තුළින් ඇද පපුව තුළට ගැනීමත් එහි ඇති වාතය නැවත පිටකර හැරීමත්ය.
එලෙස නාසයෙන් ඇද ගන්නා වාතය උගුර හරහා කෙළින්ම පැමිණෙන්නේ පපුවටයි. පපුව සහ බඩ ඉදිරියට නෙරා එන්නේ එවිටය. අපේ පපුවත් බඩත් වෙන් කරන මායිම කුඩයක් ආකාර ගනී. කුඩය වැනි වූ කොටස මාංශපේශීන් මගින් පහළට අදින විට ඉන් පහළට ඇති සියල්ල තව තවත් පහළට තල්ලු වී යයි. බඩ ප්‍රදේශය ඉදිරියට නෙරා එන්නේ ඒ තල්ලුව නිසාය.
කුඩය වැනි කොටස හකුලන විට නැතිනම් මාංශපේශීන්ගේ ඇදීම අත්හල විට ඊට ඉහළින් ඇති පපුව තෙරපී පපුවේ ඇති වාතය ඉවතට ඇදෙයි. එවිට බඩේ ඇති සියල්ල ඉහළට තල්ලු වී යන අතර හුස්ම පිටකරන විට බඩ ඇතුළට යනවාසේ පෙනෙන්නේ එනිසාය. හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා පපුවත් බඩත් එකවිට ඉහළ පහළ යන්නේ මේ ක්‍රියාවලිය හේතුවෙනි.
මේ ආකාරයට පපුව තුළට ඇද ගන්නා වාතය පපුව දෙපස ඇති ලොකු කාමර දෙකක් වෙන ගමන් කරයි. එම කාමර ස්‍පොන්ච් ආකාරයේ කොටස් වලින් පිරී පවති. වම් පස ස්‍පොන්ච් කැබලි දෙකකින්ද දකුණු පස ස්‍පොන්ච් කොටස් තුනකින්ද පෙණහලු සමන්විතයි. හැකිලෙන්නට දිග හැරෙන්නට හැකි මෙම ස්‍පොන්ච් කොටසක් කුඩා සබන් බුබුළු ආකාරයේ බුබුළු ලක්ෂ 6000කින් යුතු බව සොයාගෙන තිබේ. ස්‍පොන්ච් කොටස හැකිලෙන විට මේ සියලු බුබුළු එකවර හැකිලී යන අතර නැවත දිග හැරෙන විට ඒවා සියල්ල නැවත විවර වේ. ස්‍පොන්ච් වැනි මේ සියල්ල එකට ගත් කල අපි ඒවා පෙණහලු ලෙස හඳුන්වමු.
උගුරෙන් පහළට වාතය ගමන් කරන්නේ ඇඟිල්ලක් පමණ පළල බටයක් තුළිනි. එම තනි බටය පපුවට ඇතුළුවන විටම දෙකට බෙදී දෙපසට විහිදි යමින් නැවත තවත් කුඩා කුඩා බට ගණනාවකටම බෙදී යයි. ඒවා ගසක අතු ආකාරයට බෙදි ගියද ලක්ෂ සංඛ්‍යාත නාල සමූහයකි. ඒ සෑම සියුම් බටයක්ම අවසන් වන්නේ අප මුලින් සඳහන් කළ ඉතා සියුම් කුහරයක් තුළට ඇතුළු වීමෙන්ය. අප ගන්නා හුස්ම මේ සියලු බට තුළින් ගමන් කර සූක්ෂම කුහර සියල්ලටම එක වර ඇතුළු වේ. යම් තෙතමනයක් සහිත මෙම කුහර තුළදී පපුව තුළට ගත් ඔක්සිජන් දියවී එහි ඇති පටලය තුළින් ඒ ආසන්නයේම ඇති සියුම් නහරයකට ඇතුළුවේ. පෙණහලු තුළින් ‍ලේ ගමනාගමනය සිදුවන විටදී මේ සෑම කුහරයක් විසින්ම ‍ලේ වලට ඔක්සිජන් වාතය මුදාහරිනු ලබයි.
සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුන අයෙකු එක් කිවිසුමක් බැහැර කරන විටදී සෙම, සොටු, කෙළ බිඳිති සමග විෂබිජ සහ වෛරස් අති විශාල ප්‍රමාණයක් අවට පරිසරයේ වාතයට එකතු කරයි. එවැනි නොයෙක් ආකාරයන්ගෙන් අපට නොපෙනෙන බැක්ටීරියා වෛරස් විශාල වශයෙන් අපි ගන්නා හුස්ම ‍පොදට එකතු වේ. එලෙස ශරීරයට ඇතුළු වන වෛරස්, බැක්ටීරියා ශ්වසන මාර්ගයේ බිත්තිවල තැන්පත් වූ වහාම අපේ ශරීරයේ ඇති ඉතා කුඩා ෙසෙල විවිධ උපක්‍රම යොදමින් ඒවා පලවාහැරීමේ සටනකට අවතීර්ණ වේ.
සෙම්ප්‍රතිශ්‍යාවට ඖෂධ වැටුණත් නැතත් දින කිහිපයකින් රෝගය සුව වී යන්නේ මේ සටනේදී ශරීරය ජය ගැනීම නිසාය. අපේ ශරීරයට එවන් හැකියාවක් තිබුණද වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයක පවා මෙහිදී කළ හැකි වැඩි යමක් නැත.
නාසයෙන් දියර ගලමින් ඇඟපත රිදුම් දෙමින් හුස්ම මාර්ගය ඉදිමෙන්නට පටන් ගන්නේ වෛරස් විෂබිජ වලට එරෙහි මෙම සටන ආරම්භ වීමත් සමගය. හුස්ම මාර්ගය ඉදිමීමත් සමග වාතයට ගමන් කරන්නට ඇති මාර්ගය අවහිර වීම නිසා හුස්ම ගැනීමේ අපහසුව සමග පපුවෙන් විවිධ ශබ්ද ඇතිවිය හැකිය. හුස්ම මාර්ගයේ උනන දියර බැහැර කිරීමට කැස්ස කිවිසුම් යෑම හට ගනී.
රටක යුද්ධයක් පවතින විට ඒ රටේ කිසිදු දියුණුවක් නැති ආකාරයට ශරීර අභ්‍යන්තරයේ මෙවැනි සටනක් පවතින විට ඉතා හොඳින් සිටි අයෙකු පවා දිනෙන් දෙකෙන් රෝගියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම සටනේදී ශරීරය විසින් වෛරස් විනාශකර දමන තරමටම රෝගියාද දැඩි පීඩාවකට පත්වේ. උණ, හිසරදය, වමනය, ආහාර අරුචිය වැනි අපහසුතාවයන්ට බොහෝ විට රෝගියා මුහුණ දෙයි.
එහෙත් අප මුලින් සඳහන් කළ දියර රෝගියා කහින විටදී ඉතා සිහින් නාල තුළින් පිටකර ගන්නට නොහැකි වුවහොත් පෙණහැල්‍ලේ ඇති ස්‍පොන්ච් වැනි කොටස පුරා පැතිර යන්නට පටන් ගනී. එවිට පෙණහැල්ලෙන් කොටසක් සෙම සහ සැරව වලින් සම්පූර්ණයෙන්ම පිරී යෑම සිදුවේ. අප නියුමෝනියාව ලෙස හඳුන්වන්නේ මෙම තත්ත්වයයි.
සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝගී තත්ත්වයකින් ඇරඹී එය නියුමෝනියාව වැනි බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වන්නට බලපාන හේතු මොනවාදැයි දැන් අපි විමසා බලමු. රෝග කාරක බැක්ටීරියාවේ ඇති ප්‍රබලත්වය බොහෝවිට මෙවැනි තත්ත්වයක් ඇතිකරවිය හැකියි. ඒ සඳහා දෙනු ලබන ප්‍රතිජීවක ඖෂධ දුර්වල නම් එවිටද බැක්ටීරියා බලසම්පන්න වී රෝගී තත්ත්වය වර්ධනය විය හැකිය.

ඊට අමතරව රෝගියාගේ ශරීරය දුර්වලනම් දියවැඩියාව හෝ වෙනත් නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නේ නම් සහ රෝගී තත්ත්වය පිළිබඳව රෝගියා සැලකිලිමත් නොවූයේ නම් නියුමෝනියා තත්ත්වයක් දක්වා රෝගය උත්සන්න විය හැකිය. සෙම්ප්‍රතිශ්‍යාව පවතින විටදී නෑම නියුමෝනියාවට හේතු වන බව වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු වී නැති වුවද නියුමෝනියාව වැලඳුන සෑම රෝගියෙකුගෙන්ම පාහේ කරන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් සෙම්ප්‍රතිශ්‍යාව පවතින විට නෑම, වැස්සට තෙමීම පිළිබඳව පවසා තිබේ.
මෙවැනි නියුමෝනියා තත්ත්වයක් එක්ස් කිරණ ඡායාරූපයක සුදු පැහැ ගුලියක් ආකාරයට ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි. මෙලෙස පෙණහලු ආක්‍රමණය කරන විෂබිජ එතැනින් නොනැවතී විවිධ වූ විෂද්‍රව්‍ය දිගින් දිගටම පිට කරද්දි ශරීරය අන්ත අසරණ තත්ත්වයට පත්වේ. විෂබිජ ‍ලේ වලටද එකතු වූ විට ‍ලේ ගමන අඩාල වේ. සමහර විට යාබද පෙණහලු කොටස් වලටද විෂබිජ පැතිර යන අවස්ථා තිබේ. එවිට රෝගියා තව තවත් අසාධ්‍ය තත්ත්වයට පත්වේ.
මෙවැනි අවස්ථාවකදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නම් කුමන විෂබිජ වර්ගය ශරීරගත වී තිබේද යන්නත් ඒවා බලහීන කරවිය හැකි ප්‍රතිජීවක ඖෂධය කුමක්ද යන්නත් හඳුනා ගැනීම වෛද්‍යවරයාගේ දක්ෂතාවයයි. රෝහල් ගත කර දින ගණනාවක් ප්‍රතිජීවක ඖෂධය රුධිර ගත කරන විටදී සුව අතට හැරෙන්නට බොහෝ විට රෝගියාට හැකියාව
තිබේ.


ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග
විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
අවධාරණය කරයි


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka