නිවාඩු වැඩිම රටක නිවාඩු නැති අවුරුද්දක්

133 Views
Generic placeholder image

මහ මඟට හෝරා ගණන් ගෙවමින් දූවිල්ල, දහදිය හා පොර අල්ලමින් රස්සාවට යනෙන කොයි කාගේත් ඇස් නිතර නිතර කැලැන්ඩරය පුරා කරක් ගසන්නේ ය. සතියක් පාසා මේ කොයි කවුරුත් සොයන්නේ සතිය මැද නිවාඩුවකි. කළු පාට ඉලක්කම් මැද, රතු පාටින් ලියැවුණු නිවාඩුවක් කොයි කාගේත් ඇස් දිදුලවන්නක් මය! අතින් නිවාඩුවක් දමා හෝ ‘දිගු සති අන්තයක්‘ ලැබේ නම් එය සතුටින් ඉපිළ යන්නට තරම් හේතුවක් ද වන්නේ ය. අපේ රටේ ඇත්තෝ සොයන්නේ නිවාඩු ම නොවේදැයි කැලැන්ඩරය පීරා ‘නිවාඩුවක් සොයා ගන්නට අපිට ඇති උනන්දුව‘ගැන දැනෙනා ඕනෑ කෙනකු කියනු ඇත.

අපේ නිවාඩු උනන්දුව කෙතරම් වන්නේ ද යත් අවුරුද්දක් ගෙවී අලුත් අවුරුද්දක් ළං වෙද්දී අපි අලුත් අවුරුද්දේ කැලැන්ඩරය සොයන්නෙමු. ඒ අන් කිසිවකටවත් නොව සතියේ වැඩ කරන දින වලට යෙදී ඇති නිවාඩු දැන ගන්නට ය. මේ ගෙවී යන්නේ 2018 අවුරුද්දේ අන්තිම මාසයයි. කියන හැටියට නම් අලුත් අවුරුද්දේ කැලැන්ඩරය ගැන උනන්දුවෙන් සොයනා කාලයයි. අවාසනාවට, එළඹෙන්නට යන්නේ නම් නිවාඩු සොයන්නන්ගේ සිත් සතුටින් පුරවන අලුත් අවුරුද්දක් නොවේ!

අපේ රටේ නිවාඩු දින ප්‍රසිද්ධියට පත් වන්නේ 1971 අංක 29 දරණ නිවාඩු පනතේ 4 වන වගන්තියට අනුව ස්වදේශ කටයුතු ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ගැසට්ටුවකිනි. 2019 අවුරුද්දේ අඩු නිවාඩු සහිත ගැසට්ටුව පසුගිය ජුනි 28 වනදා ප්‍රකාශයට පත් කෙරී තිබුණේ ඒ අනුවය. 2019 නිවාඩු ගැසට්ටුවේ පෙනෙනා ලෙසට නම් කැලැන්ඩරය පීර පීරා සෙව්ව ද සතියේ මැදදී හමුව සිත පිනවන නිවාඩු සොයා ගන්නට බැරි තරම් ය. ඒ තබා වෙනදා නිදහසේ ගත කරන්නට ලැබෙන අවුරුදු නිවාඩුව සේම වෙසක් පොහොය නිවාඩුවද 2019 අවුරුද්දේ දී යෙදී ඇත්තේ සති අන්තවල ය. 2019 අවුරුද්දේ අප්‍රේල් 13 සෙනසුරාදාය; 14 ඉරිදාවකි. වෙසක් පොහොය යෙදී ඇති මැයි මාසයේ 18 වැනිදා ද සෙනසුරාදාවකි. වෙසක් පොහොයට පසුදින නිවාඩුව යෙදෙන්නේ ඉරිදාට ය. පොසොන් පොහොය, වප් පොහොය සේම දීපවාලි උත්සවය ද යෙදෙන්නේ ද ඉරිදා දිනවලට ය. අවුරුද්දේ කවුරුත් බලාපොරොත්තුවෙන් සිටිනා සිංහල අලුත් අවුරුදු නිවාඩුවත්, වෙසක් පොහොය නිවාඩුවත් නැති පාඩුව වැඩිපුරම දැනෙන්නේ රජයේ සේවකයන්ට ය. එය එසේ වන්නේ ව්‍යවස්ථාපිත නිවාඩු දෙකක් වන අලුත් අවුරුදු නිවාඩුව සහ වෙසක් පොහොය නිවාඩුව පුද්ගලික අංශ සේවකයන්ට වසර තුළ ඕනෑම දිනයක ලබා ගත හැකි නිසයි. ලංකාවේ අපි නිවාඩු ගැන මෙතරම් සොයන්නේ, රැකියාව නිසා හෙම්බත් වූ ජීවිත ගතකරනා නිසාද; නැත්නම් සියල්ලෙන් ම පෙරට එන ‘කම්මැලිකම‘ නිසාද! මේ ගැන හරි ඉඟියක් ලබාගන්නට හොඳ ම මඟක් වේ නම් ඒ ලෝකය පුරා කරක් ගසා අපේ අසල් වැසියන්ගේ, දුර ඈත සිටිනා බලවතුන්ගේ සේම අපේ රටේ ඇත්තෝ බෝට්ටුවෙන් හෝ යන්නට දඟලන සිහින පාරාදීසවලට එබී බැලීමයි.

ඉන්දියාවේ මිනිසුන් සමඟ අපිට බොහෝ නෑදෑකම් ඇතැයි කියනා නිසා නිවාඩු ගැන ඉන්දියානුවන්ගේ ඇති උනන්දුව අපේ උනන්දුව තරම්ම වේ දැයි සොයා බැලීම වටින්නේය. නිතර උත්සව පවත්වන සේම පවත්වන උත්සව සියල්ල ම පාහේ මහා උත්කර්ෂයෙන් සමරන ජාතියක් ලෙස ප්‍රසිද්ධ ඉන්දියානුවන්ට උත්සව සැමරිය හැකි නිමිති ද වසර පුරා බොහෝය. බොහෝ දෙවියන් පිදෙන ඉන්දියාවේ ප්‍රාන්ත 29ක් පුරා අනුගමනය කෙරෙන සියලු පුද පූජා වෙනුවෙන් රජයෙන් නිවාඩු ලබා දෙන්නට වුවහොත් ඉන්දියානුවන්ට කිසිදා රස්සාවකට යන්නට සිදු නොවනු ඇත. හින්දු ආගමිකයන් අති බහුතරයක පොදුවේ රට පුරාම වෙසෙන නිසා ප්‍රධාන හින්දු දේව ඇදහිලි වෙනුවෙන් පමණක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනා ලදුව නිවාඩු ලබාදීම ඉන්දියානු රජයෙන් සිදු කරයි. මහාශිව රාත්‍රී, රාම නවාමි, මහාවීර් ජයන්ති, දීපවාලි උත්සව මෙසේ නිවාඩු ලැබෙනා දේව ඇදහිලි දින ලෙස ප්‍රකාශයට පත්වේ.වසරක් පාසා මේ නිවාඩු දින ගැසට් කෙරෙන්නේ ඉන්දියානුවන්ට එ් දිනය සියලු රාජකාරි වලින් බැහැරව නිදහසේ සැමරිය හැකි වන ලෙසට ය.

තවත් බොහෝ ආගමික උත්සව ඉන්දියාවේ පැවැත්වෙන නමුත් ගැසට් කරන ජාතික නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් වන්නේ මහ සිකුරාදා, අන්තර්ජාතික වෙසක් නිවාඩු දිනය, නත්තල් දිනයට පෙර දිනය සහ නත්තල් දිනයයි. ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික උත්සව වෙනුවෙන් නිවාඩු ලැබෙන්නේ ඉස්ලාම් භක්තිකයන්ට විතර ය. ජාතිකත්වය ඉතා ඉහළින් අගය කරන ඉන්දියානුවන් තම නිදහස් දිනය වන අගෝස්තු 15 වැනිදාත්, ජනරජ දිනය වන ජනවාරි 26 වෙනිදාත් ජාතික නිවාඩු දින ලෙස සලකනු ලබයි. එ් දින දෙක යෙදෙන දවස සතියේ දිනක් වුවත්, සති අන්තයේ දිනක් වුවත් එ් දින අනිවාර්යයෙන් ම ජාතිකත්වය සැමරීමට වෙන් කරනු ලැබෙයි. ඉන්දියාවට ම නිවාඩු ලැබෙන ඉන්දියාවේ ජාතික නිවාඩු ගණන, ගණනින් දහයක් පමණ ය. ජාතික නිවාඩු දිනවලට අමතරව එක් එක් ප්‍රාන්තවලට වෙන්වූ නිවාඩු බොහෝ ගණනක් ඇතත් එ් දිනවලට නිවාඩු ලැබෙන්නේ අදාළ ප්‍රාන්ත ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරනා ජන කණ්ඩාම්වලට විතර ය. ලෝකයේ දෙවන විශාලතම ජනගහනයට හිමිකම් කියනා ඉන්දියාව ජාතික නිවාඩු අවම කරගෙන ඇතත් බහුතර ජනතාවගේ හිතසුව පිණිස වඩා නම්‍යශීලී නිවාඩු ප්‍රතිපත්තියක් අනුගමනය කරනා බවක් පෙනෙන්නට තිබේ.

ඉන්දියාවෙන් පිටව ඉන්දියාවටත් වඩා අපිට සමීප ලෙස හැඟෙන, කතාකරන චීනයේ නිවාඩු කැලැන්ඩරය දෙස ද බැලීම වටින්නේ ය. චීනයේ නිවාඩු කැලැන්ඩරය පටන් ගන්නේ ජනවාරි පළමුවැනිදා ය. බටහිර ලෝකය සේම චීනය ද ජනවාරි පළමුවැනිදා නව අවුරුදු උදාව මහ ඉහළින් සමරයි. වසන්ත උත්සවයේ ආරම්භය, චීන අලුත් අවුරුද්ද ජාතික නිවාඩු දින වන අතර ජාත්‍යන්තර කම්කරු දිනය චීන ජාතිකයන් මහ ඉහළින් සමරන ජාත්‍යන්තර නිවාඩු දිනයකි. කින්ග් මින්ග් ජි නම් ජාතික නිවාඩු දිනයක් සහ ඩ්‍රැගන් බෝට් උත්සව දිනය ද චීනයේ ජාතික නිවාඩු දින ය. චීන ජාතිකයන් දින කිහිපයක නිවාඩුවක් සමඟ සමරන උත්සවය ගිම්හාන උත්සවයයි. දින තුනක ජාතික නිවාඩු කාලයක් තිස්සේ සමරන ගිම්හාන උත්සවය සියලු චීන ජාතිකයන්ට ජාතික උත්සව සමයක් ලෙස සැලකේ. චීනයේ ජාතික නිවාඩු දින අතරට මීට අමතරව එකතු වන්නේ චීනයේ ජාතික දිනය විතර ය. ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත්වීමේ අරමුණ වෙනුවෙන් චීනය වෙහෙසෙන බවක් මේ අඩු නිවාඩු කියන්නේ ද ජාතික නිවාඩු දිනවලට අමතරව ‘පොදු නිවාඩු‘ලෙස නිවාඩු දින ද චීනයේ සලකා බැලෙයි. එ් පොදු නිවාඩු අනිවාර්ය නිවාඩු නොවන අතර පොදුවේ නිවාඩු ලෙස අවශ්‍ය නම් ලබා ගත හැකිය.

ජපානය ද ලෝකයේ විශාල ආර්ථිකයක් හිමි සේම කාර්යක්ෂමතාව අතින් ලෝකයේ කිසිවකුටත් නොදෙවෙනි වෙන තරමේ රටක් බව කාටත් රහසක් නොවේ. වැඩට හපන් ජපනුන් අවුරුද්දේ මුල් ම නිවාඩුව ලබාගන්නේ ජනවාරි පළමු වැනිදා ය. ජනවාරි පළමු වැනිදායින් පසුව ජපනුන් ලබාගන්නා බොහෝ ජාතික නිවාඩු සොබාදහමේ වෙනස්කම් පදනම් කරගත් ඒවා ය. තමන්ගේ ආර්ථිකය සවිමත් කරවන මුහුද වෙනුවෙන්, තමන්ගේ රට ලස්සන කරනා කඳු වෙනුවෙන් සැමරුම් පවත්වන්නට කළගුණ සලකන්නට ජපනුන්ට ජාතික නිවාඩු ලැබේ. වැඩිහිටි ජනගහනය රටට සම්පතක් ලෙස සලකන ජපනුන් වැඩිහිටියන්ට සැලකුම් කරන්නට, ඔවුන්ගේ සේවය අගය කරන්නට අවුරුද්දේ දින දෙකක් ම ජාතික නිවාඩු දින ලෙස නම් කරති. මේ දින සැමරුම් වලට අමතරව ජපනුන්ට ලැබෙන අනෙක් නිවාඩු ලැබෙන්නේ වසන්ත උත්සවය සහ ගිම්හාන උත්සවය වෙනුවෙනි. අවුරුද්දේ සෑම දවසක ම පාහේ වෙහෙසී වැඩ කරන ජපනුන් තම සැනසිලිදායක නිවාඩු සිත් සේ විඳ ගන්නේ මේ වසන්ත සහ ගිම්හාන නිවාඩු වලදී බවද කියැවේ. එසේ වුවත් ජපානයට ම මෙසේ ලැබෙන ජාතික නිවාඩු, ගණනින් පහළොවකට දහසයකට වඩා වැඩි වන්නේ නැත.

පෙරදිග ලෝකයටත් වඩා බටහිර ලෝකයේ නිවාඩු නම්‍යශීලී සේම වඩා වැඩදායී ලෙස තෝරා බේරා ගැනෙන බවක් පෙනෙන්ට තිබේ. එක්සත් රාජධානියේ එංගලන්තය, වේල්සය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය යන රටවල් වලට අදාළ ව නිවාඩු දින ප්‍රකාශයට පත්වන බවක් පෙනෙන්නට තිබේ. පොදුවේ එක්සත් රාජධානිය ම ගත් කල පොදු නිවාඩු, රජයේ නිවාඩු හෝ ජාතික නිවාඩු ලෙස නම් කළ නිවාඩු ඔවුන්ගේ නිවාඩු කැලැන්ඩරයේ නැත. ලෝකය ම පොදුවේ නිවාඩු ලබා ගන්නා ජනවාරි පළමුවැනිදාව, මැයි පළමුවැනිදාව, වෙසක් පොහොය, නත්තල් දිනය එක්සත් රාජධානියේදී සැලකෙන්නේ බැංකු නිවාඩු දින හැටියට පමණ ය. කාර්මික රටවල් ලෙස ඉදිරියට ආ එක්සත් රාජධානිය මුදල් මත පදනම් වූ සමාජ රටාවේදී බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීමෙන් රාජකාරි වලින් බැහැර වීම අදහස් කරන්වා වන්නට ද බැරි නැත. එසේම විවිධ රටවලින් සංක්‍රමණය වූ වෙනස් වෙනස් ජාතීන් රැසක් සිය පදිංචිය තහවුරු කරගෙන ඇති නිසා හින්දූන්ට, ක්‍රිස්තු භක්තිකයන්ට, ඉස්ලාම් භක්තිකයන්ට වෙන වෙනම තම ආගමික උත්සව වෙනුවෙන් රාජකාරී වලින් බැහැර වී නිවාඩු ලබා ගැනීමේ ක්‍රමයක් ද එක්සත් රාජධානිය තුළ හඳුනාගත හැකිය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිවාඩු කැලැන්ඩරය ද බොහෝ දුරට සමාන වන්නේ එක්සත් රාජධානියේ නිවාඩු කැලැන්ඩරයට ය. ඇමෙරිකානුවන්ට නිවාඩු දිනයක සතුට අත්විඳින්නට ලැබෙන්නේ ඔවුන් ජීවත් වන ප්‍රාන්තය අනුව නැත්නම් තමන් අදහන ආගම අනුව ය. ජාතික උත්සව වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ද දින වෙන්වී ඇතත් ඒවා ජාතික නිවාඩු දින ලෙස නම් කර නැත.

අපේ රටේ බොහෝ දෙනා යන්නට ප්‍රිය කරන සේම නොයෙක් ආකාර වලින් යන්නට තැත් කරන ඕස්ට්‍රේලියාව සැලකෙන්නේ ලෝකයේ අඩුවෙන් ම නිවාඩු ඇති රටක් ලෙස ය. බටහිර ලෝකයේ බොහෝ රටවල් අනුව යමින් දෙසැම්බරයේ ශීත කාලය වෙනුවෙන් දිගු නිවාඩුවක් ගතකරන්නට ඕස්ට්‍රේලියානුවන්ට අවස්ථාව උදාවුවත් ඕස්ට්‍රේලියාවේ නිවාඩු කැලැන්ඩරයට අනුව ඔවුන්ට මුළු අවුරුද්දට ම රජයෙන් නිවාඩු ලැබෙන්නේ දහයක් විතර ය. අනෙක් නිවාඩු ආයතනික මට්ටමින් තම සේවක පිරිස් වෙත ලබා දෙන නිවාඩු ය. රජයෙන් ප්‍රකාශයට පත් කරන ‘රජයේ නිවාඩු‘ නව වසර, කම්කරු දිනය, ජාතික ගීය හා ජාතික කොඩිය වෙනුවෙන් වෙන් කර ඇති දිනය හැරුණු කොට වෙන්වී ඇත්තේ නත්තල සහ අනෙකුත් ආගම්වල ආගමික උත්සව වෙනුවෙනි. ලෝකයේ රටවල අතර ‘රජයේ නිවාඩු ‘Public Holiday ලෙස නිවාඩු නම් කර ඇති රටවල් අතළොස්ස අතරට අපේ රට සේම ඕස්ට්‍රේලියාවද එක්වී සිටින බව නම් සටහන් තැබිය යුතුමය. නිවාඩු සොයා කැලැන්ඩර පීරන අපේ ඇත්තන් ඕස්ට්‍රේලියාවට පැන ගන්නට කලියෙන් ‘අඩු නිවාඩු‘ ගැනත් සිතන්නට ඕනෑ නොවේද!

පාකිස්තානය, මාලදිවයින, බංගලාදේශය ද ‘රජයේ නිවාඩු‘ බොහෝ ගණනක් තම තමන්ගේ නිවාඩු කැලැන්ඩර වලට දමාගෙන තිබේ. ඔවුන්ගේ නිවාඩු කැලැන්ඩර ද අපේ රටේ නිවාඩු කැලැන්ඩරය සේම බොහෝ දිගු ය. සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන් ඇති අනෙකුත් ආසියානු රටවල නිවාඩු ද බොහෝවිට ආගමික උත්සව,වසන්ත උත්සව හා ගිම්හාන උත්සව සේම අලුත් අවුරුද්දක උදාව වෙනුවෙන් වෙන්කර ගත් නිවාඩු ය. එසේ වුවත් ඒ නිවාඩු ගණනින් අඩුය;එසේම එකම දිනයක රටේ සියලු වැඩ කරන ජනතාවට නිවාඩු ලබා දීමේ ක්‍රමයක්ද නැත. එයින් පෙනෙන්නේ ඔවුන් තමන්ගේ ආර්ථිකය ගැන පරෙස්සම් වන තරම වන්නට බැරි නැත.

මැදපෙරදිග රටවල නිවාඩු කැලැන්ඩරය ලෝකයේ අන්කිසිදු රටක නිවාඩු කැලැන්ඩරයකට සමාන වන්නේ නැත. අරාබි රටවල නිවාඩු දින හැම එකක්ම පාහේ ජාතික නිවාඩු දින වන අතර ඒවා සියල්ල ඔවුන්ගේ ඉස්ලාම් ආගම හා ආගමික උත්සව හා බැදුණු නිවාඩු වීම ද විශේෂත්වයකි. එසේ වුවත් අවුරුද්දක් තුළ ඔවුන් නිවාඩු පාඩුවේ ගෙවා දමන්නට වෙන් කරගෙන ඇති දවස් ගණන සලකිය යුතු තරම් අඩුය.අවුරුද්ද මැද ගෙවා දමනා අඩු නිවාඩු වෙනුවට ඔවුහු ද බටහිර ආරයට යමින් දෙසැම්බරයේ දිගු නිවාඩු ලබා ගනිති.

ලෝකයේ රටවල නිවාඩු ගැන පළවන වාර්තා සොයා බලද්දී අපි වසරකට ලබා ගන්නා ප්‍රකාශිත නිවාඩු ගණනින් දෙවැනි වන්නේ කාම්බෝජයට විතරය. කාම්බෝජයද අප වැනිම බෞද්ධ රටක් වන නිසා ආගමික උත්සව හා සම්බන්ධ නිවාඩු ඔවුන්ද ලබා ගනිති.අපට ළඟින්ම ඊළගට සිටින්නේ ඉන්දියාව වන අතර කොලොම්බියාව චීනය, පාකිස්තානය ලැයිස්තුවේ පිළිවෙලට සිටිනා රටවල්ය.මේ සියලුදෙනා අපේ කිට්ටුවන්ත අසල්වැසියෝය, කෙටියෙන්ම කියතොත් නිවාඩු වැඩිපුරම ලබා ගන්නා ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නෝ ආසියානුවෝමය. බටහිර රටවල් මේ ලැයිස්තුවට එකතුවන්නේ ලැයිස්තුව බොහෝ දිගු වූ පසුය.

අපි සෑම සති අන්තයක ම එනම් සෙනසුරාදාවක ම සහ ඉරිදාවකම අනිවාර්ය නිවාඩු ලබනා රටකි.ලෝකයේ ඇතැම් රටවලට එම නිවාඩුව ලැබෙන්නේ ද නැත. එසේම ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ නිවාඩු කැලැන්ඩර වල නිවාඩු සලකුණු කරන්නේ ‘නිරීක්ෂත නිවාඩු‘ ලෙස ය. එම නිරීක්ෂිත නිවාඩු ලැබෙන්නේ අදාළ නිවාඩු නිමිත්ත සැමරෙනේ නම් හෝ සැමරිය යුතු යැයි රජය විසින් කල්පනා කරන්නේ නම් පමණි. ඒ බොහෝ නිරීක්ෂිත නිවාඩු ලැබෙන්නේ අඩුවෙනි. ලෝකයේ දියුණු යැයි කියනා, දියුණු බව ඇසට පෙනෙනා රටවල තත්ත්වය ඒකය. ඔවුන් නිවාඩු පතා නොව රටෙ දියුණුව පතා වැඩ කරනා බවක් පෙනෙන්නේය. කෙසේ වුවත් ඔවුහු නිවාඩු නොමැතිව වැඩ කරන්නෝ ද නොවෙති. නත්තල් සතියේදී නිවාඩු ලබන මේ බොහෝ දෙනා නැවත රැකියාවලට යන්නේ ජනවාරියේ දෙවන සතියේය. දෙසැම්බර් නිවාඩුවට යද්දී හිතපුරා සතුටු වන්නට දීමනා ද මේ බොහෝ රටවල වැඩ කරන ජනතාවට ලැබේ.

අපේ රටේ තත්ත්වය වෙනස් ය. දෙසැම්බරයේ හෝ සිංහල අවුරුද්දට ‘අතින් නිවාඩු ‘ ගත්තොත් මිසක් දිගු නිවාඩුවක් ලැබෙන්නේ කලාතුරකිනි. සතියේ මැද එන නිවාඩුවක් ගැන බොහෝ දෙනා විමසිලිමත් වන්නේ ඒ නිසාය. 2019 අවුරුද්ද වෙනුවෙන් ගැසට් වී ඇති නිවාඩු කැලැන්ඩරය ගැන කවුරුත් දුක් වන්නේ ද කතා කරන්නේ ද ඒ නිසාමය!. රටක දියුණුව වෙනුවෙන් වෙහෙස විය යුතු බවද කැපකිරීම් කළ යුතු බවද සැබෑවකි. අද ලෝකයේ ඉහළින් ම සිටිනා රටවල කතාන්දර මේ වෙනුවෙන් ඕනෑ තරම් කිව හැකිය. නමුත් සිරුර, මනස දරනා වෙහෙසට විවේකය ද උවමනාමය. ලොකු බෝනස් සමඟ ලොකු නිවාඩු නොලබන අපේ රටේ ඇත්තන් පොඩු පොඩි නිවාඩු අහිමි ව යෑම ගැන සිතීමේ වරදක් නැතැයි හැඟෙන්නේ ලෝකය දෙස බලා ආපසු හැරෙද්දීය


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka