නිර්මාණය කර වසර 46 පසු තිරගතවන ලොව පෙරළිකාර චිත්‍රපටය

38 Views
Generic placeholder image

ඇරීතා ෆ්රෑන්ක්ලීන්. කළු ඇමෙරිකානු කාන්තාවක වූ ඇය හැඳින්වුණේ ගී ලොව රැජිනක ලෙසිනි. සුප්‍රකට රෝලින් ස්ටෝන් සඟරාව වරක් ඇයව හඳුන්වා තිබුණේ එතෙක් මතෛක් ලොව බිහි වූ හොඳම ගායිකාව ලෙසිනි. පිළිකාවකින් පෙළෙමින් සිටි ඇය පසුගිය අගෝස්තු මාසයේදී මියගියවිට ලොව පුරා සිටි රසිකයන් සසල වූ බව මුහුණු‍පොතේ ඇය ගැන තැබූ සටහන්වලින් දකින්නට ලැබිණි. ඇය ගැන මේ දිනවල ඇති අලුත්ම ආරංචිය වන්නේ අමේසින් ග්‍රේස් නමින් ඇය ගැන නිර්මාණය කළ වාර්තා චිත්‍රපටය නිව්යෝර්ක් නගරයේ ප්‍රදර්ශනය ඇරඹෙන බවය.වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීම මෙහිදී විශේෂත්වයක් වන්නේ එය තිරගත වන්නේ නිර්මාණය කොට වසර හතළිස් හයකට පසු වීම හේතුවෙනි. 1972 වසරේදී සුප්‍රකට අධ්‍යක්ෂ සිඩ්නි ‍පොලැක් විසින් නිර්මාණය කරන ලද අමේසින් ග්‍රේස් ප්‍රදර්ශනය කල්යෑමට නීතිමය ඇතුඵ විවිධ හේතූන් බලපෑවේය. අවසානයේදී ඇරීතාගේ පවු‍ලේ අය විසින් අනුමත කරන ලද චිත්‍රපටය හෙට දිනයේ එනම් නොවැම්බර් දොළොස්වැනිදා තිරගත කිරීමට නියමිතය.

රෙස්පෙක්ට් ඇන්ඩ් තින්ක් වැනි ලොව පුරා අතිශයින් ජනප්‍රිය ගීත ගායනා කළ ඇරීතා ෆ්රෑන්ක්ලින් ප්‍රකට වූයේ සෝල් සංගීතයේ රැජින ලෙසිනි.තම සොයුරියන් දෙදෙනා සමග ඇය ගායනා කළ මෙම ගීතය කාන්තාවාදී ව්‍යාපාරයේ තේමා ගීතය ලෙසද හැඳින්වෙයි. සෝල් සංගීතය 1950 අවසන් භාගය හා 1960 මුල් කාලය අතර ඇමෙරිකාවේ වාසය කළ කළු ඇමෙරිකානුවන් අතරින් බිහිවූ සංගීත කලාවකි. 1942 වසරේ ඇරීතා ලොයිස් ෆ්රෑන්ක්ලින් උපත ලබන්නේ ටෙනසි ප්‍රාන්තයේ මෙම්පිස් නගරයේය. ඇගේ පියා බැප්ටිස්ට් පූජකවරයෙකු වූ අතර මව දේවස්ථානයේ ගීතිකා ගායනයෙහි කැපී පෙනුණු මියුරු හඬක් ඇති තැනැත්තියක් විය. වයස අවුරුදු හයේදී පවු‍ලේ අය සමග ඩිටේ‍රායිට්හි පදිංචියට පැමිණි ඇය එහිදී පියානෝව වාදනය කිරීමට ඉගෙනගත් අතර පියා කටයුතු කළ දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමෙහි කැපී පෙනුණු සාමාජිකාවක් වූවාය. පියාගේ අනියම් සබඳතා හේතුවෙන් ඇගේ මව හා පියා වෙනවූ අතර පවුල හැරදමා ගිය මව මියයනවිට මවගේ වයස අවුරුදු තිස් හතරකි. කෙසේ වුවද ඩිටේ‍රායිට්හි කළු ඇමෙරිකානුවන් අතර ගෞරවයට පාත්‍ර වූ චරිතයක් ලෙස ඇගේ පියා ගැන කියැවෙයි. ඇරීතාට එවකට ජනප්‍රිය ගායක, ගායිකාවන් හඳුනා ගැනීමට ලැබෙන්නේද මේ කාලයේය.

මුල්ම ගීත ඇල්බමය නිකුත්කරනවිට ඇරීතාගේ වයස අවුරුදු දහහතරකි. මෙහි විශේෂත්වයක් වන්නේ ඒ වනවිට ඇය විවාහ වී තම පළමු දරුවාද බිහිකර තිබිමය. දෙවන දරුවා බිහිවනවිට ඇගේ වයස අවුරුදු දහසයක් වූ අතර දරුවන් දෙදෙනා හදාවඩා ගැනීමේ වගකීම ඇගේ සීයා භාරගත් බැවින් වැඩි කාලයක් සංගීතය වෙනුවෙන් කැපකිරීමට ඇරීතාට හැකිවිය.ඇරීතා ගී ලොවෙහි වඩාත් ජනප්‍රිය වූයේ “අයි නෙවර් ලව්ඩ් අ මෑන් ද වේ අයි ලව් වූ” නම් ගීතයෙනි. දශක හතක් ගී ලොව රැජිනක ලෙස වැජඹුණු ඇය පසුකලක වත්මන් ගී ලොව ජනප්‍රිය ගායක, ගායිකාවන් සමගද එකම වේදිකාවේ ගීත ගායනා කළාය. ඔහායෝ ප්‍රාන්තයේ පිහිටා ඇති රොක් ඇන්ඩ් රෝල් හෝල් ඔෆ් ෆේම් කෞතුකාගාරයේ නම සටහන් කරගත් පළමු ගායිකාව ලෙස ඇය ඉතිහාසගත වූවාය.එල්ටන් ජෝන්ගේ ඒඩ්ස් පදනම වෙනුවෙන් නිව්යෝර්ක් නගරයේ පැවැති ප්‍රසංගයේදී කළ ගායනය ඇගේ අවසන් ගායනය වූ අතර එවිට ඇගේ වයස අවුරුදු හැත්තෑපහකි.

ඇමෙරිකානු සිවිල් අයිතීන් ව්‍යාපාරයේ කැපී පෙනුණු චරිතයක් වූ ඇරීතා ෆ්රෑන් ක්ලීන් එහි සංකේතයක් ලෙසද හැඳින්විණි. මේ වෙනුවෙන් මාටින් ලුතර් කින්ග් වෙතින් සම්මානයක්ද ලැබූ ඇය ටයිම් සඟරාවේ කවරය සැරසූ දෙවැනි කළු ඇමෙරිකානු කාන්තාව විය. වසර හතක විවාහ ජීවිතය බිඳවැටීම ඇගේ ජිවිතයට තදින් බලපෑ අතර ඉන්පසු ඇය තදින් මත්පැන්වලට ඇබ්බැහිවි සිටින බවට කටකතා පැතිරිනි. 1969 වසරේදී කලබලකාරී ලෙස හැසිරීමේ වරදට අත්අඩංගුවට පත්වූ ඇගේ පියාද ආන්දෝලනයකට මැදිවූයේ කළු ජාතික බෙදුම්වාදී කණ්ඩායමක් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීම හේතුවෙනි. මෙම කණ්ඩායම ‍පොලීසිය සමග ගැටුණු අතර එහිදී එක් ‍පොලිස් නිලධාරියෙක් මියගොස් පිරිසකට තුවාල සිදුවිය. 1979 වසරේ නිවසට පැමිණි කොල්ලකරුවන් පිරිසකගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ ඇගේ පියා සිහි විසඥ තත්ත්වයෙන් පසුවී 1987 වසරේදී මියගියේය. මේ කාලයේදීම ගුවන් ගමන් සම්බන්ධයෙන් බියක් ඇතිවීම හේතුවෙන් ඇරීතාගේ සංගීත ප්‍රසංග සීමාවූ අතර එය ඇගේ වෘත්තීමය ජීවිතයට අහිතකර ලෙස බලපෑවේය.

 

අමේසින් ග්‍රේස් වාර්තා චිත්‍රපටය විවිධ තාක්ෂණික හේතුන් මත ප්‍රදර්ශනය සඳහා වැඩ නිමකිරීම 2011 වනතුරු සිදුනොවුණු අතර එතැන් සිට මියයනතුරුම ඇරීතා තම නීතිඥයන් හරහා චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කරවාගත්තාය. වරක් එහි නිෂ්පාදක ඇලන් එලියට්ට ඇය නඩු පැවරුවේ තම ස්වරූපයට සමාන අයෙකු තම අනුමැතියකින් තොරව යොදවාගත් බව කියමිනි.ඇරීතා තම අමේසින් ග්‍රේස් ගීත ඇල්බමය පටිගත කළ  ලොස්ඇන්ජලිස් නගරයේ බැප්ටිස්ට් දේවස්ථානයකදී රාත්‍රි කාලයන් දෙකකදී මෙම වාර්තා චිත්‍රපටය රූපගත කළ සම්මානලාභී අධ්‍යක්ෂ ‍පොලැක්ට වැරදුණු තැනක් විය. ඩිජිටල් තාක්ෂණය නොතිබුණු ඒ කාලයේ හඬ සහ රුව සංකලනය කිරීමට අත්‍යවශ්‍ය ක්ලැපර් බෝඩ්ස් භාවිත නොකිරීමෙන් පැය විස්සක කාලයක් රූපගත කළ චිත්‍රපටය තිබුණේ සංස්කරණය කළ නොහැකි තත්ත්වයකය. එම වරද හරිගස්සවාගත හැකිවූයේ ඩිජිටල් තාක්ෂණය උපයෝගිකොටගෙන 2007 වසරේදීය. ලබන වසරේ ඔස්කාර් සම්මාන උළෙ‍ලේදී වාර්තා චිත්‍රපට අංශයට මෙම චිත්‍රපටය ඇතුළත් විමට නියමිතය. ග්‍රැමි සම්මාන දහඅටක් දිනා ඇති මේ විශිෂ්ට ගායිකාව ගැන නිර්මාණය වූ අමේසින් ග්‍රේස් නැරඹිය යුතුම චිත්‍රපටයක් බව විචාරකයන්ගේ අදහසයි.

නිශානි දිසානායක


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka