ත්‍රිමාණ චිත්‍ර වලින් ලෝකෙම හොල්ලපු සුපිරි කොල්ලා

296 Views
Generic placeholder image

 

ත්‍රිමාණ සිතුවම් කලාව ලෝකයේ බොහෝ රටවල සිතුවම් කලාකරුවන් අතරට ගොස් අවුරුදු ගණනාවක් වූවද, මෙරට සිතුවම් නිර්මාණකරුවන් ත්‍රිමාණ සිතුවම් කලාවට යොමුවූයේ මෑතකදීය. සාමාන්‍ය සිතුවම් කලාවට වඩා නිර්මාණාත්මක මෙන්ම සජීවිකරණය වූ ත්‍රිමාණ සිතුවම් කලාවට තවමත් මෙරට තුළ යොමුවී ඇත්තේ සීමිත පිරිසකි. ලෝකයේ ඇතැම් ත්‍රිමාණ සිතුවම් නිර්මාණ ශිල්පීන් මාර්ගවල පවා තම හැකියාවන් නිර්මාණ කර ඇති අයුරු දැකිය හැකිය. ත්‍රිමාණ සිතුවම් කීපයක් මෙරට තුළ දැකිය හැකි සුවිශේෂී ස්ථානයක් ලෙස බත්තරමුල්ල, දියත උද්‍යානය සඳහන් කළ හැකිය.ත්‍රිමාණ සිතුවම්කරණය පිළිබඳව අධ්‍යාපනයක් නොලැබුවද ලෝකයේ ත්‍රිමාණ සිතුවම් නිර්මාණකරුවන්ට නොදවෛනි ලෙස ත්‍රිමාණ සිතුවම්කරණයේ යෙදෙන චිත්‍ර ශිල්පියකු ලෙස තුෂාර සම්පත් ලියනගේ හඳුන්වා දිය හැකිය. මාතර,දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ තිස්තුන් හැවිරිදි (33) තුෂාර සම්පත් අධ්‍යාපනය ලැබුවේ දෙනියාය, පල්‍ලේගම මහා විද්‍යාලයෙනි.පාසැල් කාලයේදී මම චිත්‍ර විෂය කළා. හැම වාර විභාගයකදීම චිත්‍ර විෂයට වැඩිම ලකුණු තිබුණේ මට.

හැබැයි මම ආසාවකින් චිත්‍ර විෂය කළේ නෑ. ඒ නිසා චිත්‍ර කලාව උනන්දුවෙන් කරන්න මට වුවමනාවක් තිබුණේ නෑ.යැයි තුෂාර සම්පත් කියන්නේය.චිත්‍ර කලාවට ඔහු ආසාවක් නොදැක්වූවද, ඔහුගේ නිර්මාණ නිතරම විදුහ‍ලේ ඇගයීමට ලක්වූයේ එම චිත්‍ර සුවිශේෂී ලෙස ඇඳ තිබූ බැවිනි. ඒ සෑම නිර්මාණයක්ම ඔහු කලින් සැලසුම් කර අඳින ලද ඒවා නොවීය.තුෂාර සම්පත්ගේ මව ඊ. මේලින් මහත්මියයි. පියා එච්.එල්. ගුණසීල ලියනගේ මහතාය. තුෂාරට බාල එක් නැගණියක් සිටී. තුෂාරගේ චිත්‍ර නිර්මාණ හැකියාව වැඩිවීමට ඔහුගේ පවුල් පසුබිමද බලපෑවේය.මගේ පියා චිත්‍ර ශිල්පියෙක්. ඔහු විහාරස්ථානවල චිත්‍ර නිර්මාණය කළා. ‍

පොඩි කා‍ලේ ඉඳන් තාත්තා චිත්‍ර අඳිද්දී මම ඒවා දිහා බලාගෙන හිටියා. ඒ නිසා මට සිතුවම් නිර්මාණය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඒත් ඒ හැකියාව වැඩි දියුණු කරගන්න මම උනන්දු වුණේ නෑ. මම හැම වෙලාවේම බැලුවේ නිදහසේ ඉන්න. අඩු තරමින් මම චිත්‍ර පන්තියකටවත් ගියේ නෑ. තුෂාර කියන්නේය.පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියාවකට කොටු වීමට අකමැති වූ තුෂාර සිය පියා සමඟ විහාරස්ථාවලට ගොස් චිත්‍ර ඇන්දේය.අලුතින් හදන පන්සල්වල චිත්‍ර නිර්මාණය කරන්න අපට අවස්ථාව ලැබුණා. මම දකිද්දී බොහෝදෙනකු හිතුවේ විහාරස්ථානවල චිත්‍ර නිර්මාණය කරන්න බැරි අයෙක් කියලා. මොකද,තවමත් බොහෝ දෙනකුගේ ආකල්පයක් තිබෙනවා වයසින් වැඩි පුද්ගලයින්ට පමණයි විහාරස්ථාන වගේ ස්ථානවල සිතුවම් නිර්මාණය කරන්න පුළුවන් කියලා. ඒ වගේම කාර් එකකින් එන නිර්මාණකරුවන්ටත් සමාජයේ හොඳ තැනක් තිබෙනවා.

ගොඩාක් දෙනෙක් බලන්නේ හැකියාවට වඩා නිර්මාණකරුගේ තත්ත්වය. මේ නිසා චිත්‍ර ඇඳීමට තිබූ අවස්ථා බොහොමයක් අහිමි වුණා. නමුත්, මගේ චිත්‍ර දුටු බොහෝදෙනකු ඔවුන් මට දිගටම වැඩ දුන්නා. යැයි තුෂාර සම්පත් කීවේය.චිත්‍ර කලාව වඩාත් ප්‍රගුණ කළ යුතු යැයි තුෂාර සම්පත්ට අවබෝධ වන්නේ විහාරස්ථානවල චිත්‍ර අඳින්නට පටන් ගත්තාට පසුවය. ඔහු ඒ සඳහා අන්තර්ජාලය පරිශීලනය කර දැනුම ලබා ගත්තේය. ඒ අනුව ත්‍රිමාණ සිතුවම්කරණය පිළිබඳව ඔහු දැනුමක් ලබා ගත්තේය.මම ගූගල් ඔස්සේ ත්‍රිමාණ සිතුවම්කරණය පිළිබඳව අධ්‍යයනය කළා. මට විශාල දැනුමක් ඉන් ලබාගන්න පුළුවන් වුණා. ලෝකයේ චිත්‍ර නිර්මාණකරුවන් ත්‍රිමාණ සිතුවම් නිර්මාණය කළේ කොහොමද කියලා මට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ අනුව තමයි මම මුලින්ම ගසක කඳක් උඩ ඉන්න දර්ශනයක් නිර්මාණය කළේ. ඒ නිර්මාණය මම ෆේස්බුක්වලට දැම්මාට පස්සේ හොඳ ප්‍රතිචාර ලැබුණා.

ඒ නිසා මම තව තවත් උනන්දු වුණා ත්‍රිමාණ සිතුවම් නිර්මාණයට. යැයි තුෂාර සම්පත් පවසන්නේය.තුෂාර කුඩා කාලයේ සිය චිත්‍ර නිර්මාණ කටයුතු කළේ ඒ මොහොතේ සිතට නැගෙන සිතුවිල්ල අනුවය. ආර්ථික ගැටලු හේතුවෙන් ත්‍රිමාණ සිතුවම් නිර්මාණය සඳහා ඔහුට මුදල් වියදම් කිරීමට හැකියාවක් නොවීය. ඔහු නිවසේ වැලි මිදු‍ලේ ත්‍රිමාණ සිතුවම් නිර්මාණය කළේය. එම නිර්මාණ සඳහා අමුද්‍රව්‍ය ලෙස ඔහු යොදාගත්තේ ගඩොල් කුඩු සහ හුණු ආදියයි. ඒ සෑම නිර්මාණයක්ම සජීවී බවින් යුතුවිය. කොපමණ ආර්ථික ගැටලු පැවතියද තුෂාරගේ නිර්මාණ කටයුතුවලට ඔහුගේ දෙමාපියන් අත දුන්නේය.අම්මයි, තාත්තයි මගේ නිර්මාණවල අඩුපාඩු තිබෙනවානම් ඒවා පෙන්වා දුන්නා. මට පළමු ත්‍රිමාණ සිතුවම නිර්මාණය කරද්දී සායම් ගන්න මුදල් තිබුණේ නෑ. ඒ නිසා ගෙදර තිබුණු රතු ගඩොල් සහ හුණු ඒ නිර්මාණයට යොදා ගත්තා. මම මේ හැම නිර්මාණයක්ම කරන්නේ වැලි ‍පොළොවේ. සාමාන්‍ය ‍පොළොවක මේ නිර්මාණ කරන්න තියෙනවානම් පහසුයි. දැන් මම නිර්මාණ සඳහා කළු සිමෙන්ති කුඩුත් පාවිච්චි කරනවා. පන්සල්වල චිත්‍ර ඇඳලා ගන්න ආදායමෙන් කොටසක් ඉතුරු කරගන්නවා මේ චිත්‍ර නිර්මාණය කරන්න. තුෂාර කීවේය.ගොඩාක් දෙනෙක් චිත්‍ර නිර්මාණය කරද්දී කලින් කටු සටහන් අඳිනවා. මිනිස් රූප අඳිද්දී කොටු ගහලා තමයි සිතුවම නිර්මාණය කරන්නේ. ඒත් මම ඒ එකක්වත් කරන්නේ නෑ. සජීවී මිනිස් රූප අඳිද්දී සමහරු මට දොස් කියපු අවස්ථා තිබුණා. මුදල් ලබා නොදීපු අවස්ථාත් තිබුණා.

ඒ අය බලා‍පොරොත්තු වන්නේ චිත්‍ර අඳින කොළේ කොටු ගහලා සිතුවම නිර්මාණය කරන එක තමයි නිවැරදි ක්‍රමය කියලා. ගොඩාක් අය තවමත් හිතන්නේ සාම්ප්‍රදායික ආකාරයටයි. මම චිත්‍ර අඳින්නේ නිදහසේ. ඒ නිසා චිත්‍රය සාර්ථක වෙනවා. තුෂාර කියන්නේය.තුෂාර කලාකරුවන්, දේශපාලඥයින් රැසකගේ ත්‍රිමාණ සිතුවම් රැසක් නිර්මාණය කර ඇත.සාමාන්‍යයෙන් තුෂාරට පැයක පමණ කාලයකදී ත්‍රිමාණ නිර්මාණයක් කිරීමේ හැකියාව පවතී.ගාමිණී ෆොන්සේකා, කේමදාස මාස්ටර්, අමරදේව මාස්ටර් ආදී බොහෝදෙනකුට ගොඩාක් දෙනෙක් ආදරය කරනවා. මම ඔවුන්ගේ ත්‍රිමාණ සිතුවම් නිර්මාණය කරා. බොහෝ කලාකරුවන් මගේ නිර්මාණ දැකලා අගය කරලා තිබෙනවා. යැයි තුෂාර සම්පත් පවසන්නේය.වරෙක ඔහු එංගලන්තයේ රජ කිරුළට උරුමකම් කියන චාල්ස් කුමරුගේ සිතුවමක් නිර්මාණය කළේය. මෙරටදී පැවති ‍පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේදී ප්‍රධාන ආරාධිතයකු ලෙස පැමිණි හැරී කුමරුට මෙම සිතුවම ලබා දීමට තුෂාර සම්පත් උත්සාහ ගත්තද එය ව්‍යර්ථ වී ගියේය. නමුත් තුෂාර එම චිත්‍රය චාල්ස් කුමරුට තැපෑලෙන් යැව්වේය. චාල්ස් කුමරු එම සිතුවම පිළිබඳව අගයකර ඔහුගේ අත්සන සහිත ලිපියක් තුෂාර සම්පත්ට එව්වේය.මම සජීවිකරණ සිතුවම් කලාවට ලොකු ආසාවක් දක්වනවා. ඒ නිසා මගේ ලොකුම බලා‍පොරොත්තුව තමයි චිත්‍ර ප්‍රදර්ශනයක් තනියම කරන එක.

මේ ප්‍රදර්ශනය මට ගමේදී කරන්න බෑ. කොළඹදී කරන්න වෙන්නේ. ඒ වගේම ලොකු වියදමක් යන කටයුත්තක් මේක. කවුරුහරි මට අනුග්‍රාහකත්වය දක්වනවා නම් මට මගේ හැකියාවන් වඩාත් ඔප්නංවා ගන්න පුළුවන්. වෙනස් විදිහේ සිතුවම් රැසක් මේ චිත්‍ර ප්‍රදර්ශනයේ තබන්න මම බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. යැයි තුෂාර සම්පත් ලියනගේ සිය අනාගත බලා‍පොරොත්තුව පිළිබඳව එලෙස කියා සිටියේය.


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka